Monday, June 18, 2012

ශ්‍රී දළදා මාලිගාව


ශ්‍රී දළදා මාලිගාව යනු බුදුරජාණන් වහන්සේගේ දන්තධාතූන් වහන්සේ තැන්පත් කර ඇති මාලිගාවයි. මෙය ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය ඉදිකර ඇත්තේ එවකට රාජකීය මාලිගා සංකීර්ණය තුලමය. අතීතයේ සිටම ජනතාවගේ පිලිගැනීම අනුව දන්ත ධාතූන් වහන්සේගේ භාරකාරීත්වය දරන තැනැත්තා හට රටේ රජකම හිමි විය යුතුය. මේ නිසා අතීතයේ රජවරු සිය දිවි හිමියෙන් දළදා වහන්සේ ආරක්ෂා කළහ.
ශ‍්‍රී‍්‍ර දළදා මාලිගාව මුල්වරට ගොඩනගනු ලැබුයේ පළමුවන විමලධර්මසූරිය (1592 - 1604) රජතුමා විසිනි.
දළදා වහන්සේ වැඩහිටි මන්දිරය, ධාතුඝරය, දළදාගේ, දළදා මන්දිරය, දළදා මාලිගය ආදී නම් වලින් හැඳින්වූ බව පෙනේ.
දළදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.
මල්වතු හා අස්ගිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරති. මෙම පූජාව (තේවාව) දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි. බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. මෙහිදී සුවඳ ගැන්වූ ඖශධීය ජලයෙන් සංකේත වශයෙන් දළදා වහන්සේ ස්නානය කරවනු ලබයි. මෙසේ ස්නානය කරවීමෙන් ලැබෙන ජලයේ රෝග සුව කරීමේ ආනුභාවයක් ඇති බව විශ්වාස කෙරේ.මහනුවරට නැගෙනහිරින් උඩවත්ත කැළයත් හන්තාන කඳුවැටිය එක්පසකින් හා බහිරව කන්ඳ තවත් පැත්තකින් වටවු මහනුවර රාජධානිය සෞම්‍ය දේශගුණයකින් යුක්තය.ඕනෑම භෝගයක් වැවිමට තරම් සශ්‍රිකය.අලුත් නුවර,මැදමහනුවර, හඟුරන්කෙත නුවර, නිළඹේ නුවර, සෙංඛඩගල නුවර, හා ගලේ නුවර, දළඳා වහන්සේගේ ආරක්ෂිත ප්‍රදේශ වේ.

දළදා මාළිගයේ ඉතිහාසය

මුල් අවධියේ මහනුවර හැඳින්වුයේ "ශ්‍රි සෙංඛණ්ඩ ශෛලාභිධාන ශ්‍රි වර්ධනපුරය" ලෙසය.දඹදෙනි රාජධානියේ හතරවනපරාක්‍රමබාහු (ක්‍රි.ව 302-1326)රජතුමාගේ බෑනා කෙනෙකු වු සිරිවර්ධන නැමති අය විසින් ක්‍රි.ව 1312 දී එවකට කටුපුල්ලේ නමින් හැඳින්වු ප්‍රදේශය අසල "සෙංකඩගල සිරිවර්ධනපුරය "නමින් නගරයක් ආරම්භකොට ඇත.තවත් ජනප්‍රවාදයක් නම් සෙංඛණ්ඩ නම් බ්‍රාහ්මණයෙකුගේ නමින් මේ නගරය ඉඳිවු බවත්,තුන්වන වික්‍රමබාහු නම් රජුගේ අගමෙහෙසිය වු සෙංඛණ්ඩා නම් දේවිය නමින් මේ නගරය ඉඳිවු බවත්,මෙහි තිබූ සෙංකඩගල නම් රක්ත වර්ණ පාෂාණයක් මුල්කොටගෙන මේ නම ඇතිවු බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ.ගම්පොල රාජධානියේ පාලකයා වු තෙවන වික්‍රමබාහු රජසමයේ (ක්‍රි.ව 1357-1374) දළඳා මැඳුර සහා ලෝකේෂ්වර නාථ දෙවියන් සඳහා වු නාථ දේවාලය මෙහි ඉඳි විය.අස්ගිරිතල්පතෙහි සඳහන් අයුරු අස්ගිරි විහාරය ආරම්භ වුයේද මෙකලය. වර්තමානයේ මේවා මහනුවර පැරණිතම ගොඩනැගිළි.ගම්පොල රජ පවුලෙන් පැවත ආ සේනා සම්මත වික්‍රමබාහු (ක්‍රි.ව 1469-1511)රජු විසින් සෙංකඩගල පුරය ලෙස නම් කරන ලදි.ඔහු මහනුවර රාජධානියේ නිර්මාතෘවරයා ලෙස සැලකේ. බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව තැම්පත්කර චෛත්‍යක්, දෙමහල් පොහොය ගෙයක් ,සංඝාවාසයන් 86 ක් කරවා හා ධාතු කරඬු සහ පිළිම වහන්සේලා පූජා කරමින් පොතපත පලකරමින් විශාල මෙහෙයක් කර ඇත. සීතාවක පළමු රාජසිංහ රජු ,ජයවීර(ක්‍රි.ව 1511-1552),කරල්ලියද්ද බණ්ඩාර(ක්‍රි.ව1552-1582)පළමු විමලධර්මසූරිය(ක්‍රි.ව 1590-1604)සිංහලයේ අවසන් රජු ශ්‍රි වික්‍රම රාජසිංහ (ක්‍රි.ව 1798-1815)දක්වා රජවරු 10 දෙනෙකු මහනුවර රාජධානිය කරගෙන ඇත. සතුරු උවදුරු හැරුනුවිට අන් සෑම අවස්ථාවකදීම දළඳා වහන්සේ වැඩසිටියේ රජ මාළිගාව ආසන්නයේය.දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂාකර ගැනිම රජුගේ වගකීම වූ අතර එහි භාරකරු රටේ පාලකයා බවට පිළිගැනීමක් පැවතුනි. දෙවන විමලධර්මසූරිය රජු තුන් මහල් ප්‍රාසාදයක් කරවු අතර මඟුල් මඞුව හා පත්තිරිප්පුව දේවේන්ද්‍ර,මූලාචාරියා නැමැත්තන් ඉඳිකර ඇත. 



දළදා වහන්සේ



4 වෙනි සියවසේදි දන්ත ධාතුව ලංකාවට වැඩම කළ තැන් සිට අනුරාධපුර රාජධානිය පොළොන්නරුවට ගෙන ගිය 10 වෙනි ශත වර්ෂය දක්වා අතර තුර කාලය දක්වා මහාවංශයෙහි දළදාව ගැන සඳහන් වන්නේ අවස්ථා කීපයකදී පමණි. එසේ වුවද චීන සංචාරක භික්ෂුවක් වූ ෆාහියැන්, දන්ත ධාතූන් වහන්සේට කළ වැඳුම් පිදුම් සහ ඒ සම්බන්ධ චාරිත්‍ර වාරිත්‍ර ගැන බොහෝ විස්තර සඳහන් කර ඇත. එකී භික්ෂුව 5 වැනි සියවසේදී අභයගිරි ආරාමයේ වැඩ වාසය කර ඇත. මෙම භික්ෂුවගේ විස්තරයන්ට අනුව කීර්ති ශ්‍රී මේඝවන්න රජු විසින් 4 වැනි සියවසේදී ආරම්භ කරන ලද පෙරහැර අති ශ්‍රී විභූතියෙන් යුතුව නොකඩවා පවත්වාගෙන එන ලදී. දන්ත ධාතුන් වහන්සේ දළදා මන්දිරයේ සිට අභයගිරි විහාරය දක්වා පෙරහැරකින් වඩමවා අලංකාර ලෙස චාරිත්‍ර විධි පුද පූජා සහිතව මාස තුනක් ප්‍රදර්ශනය කරන ලදි. මහාවංශයේ තිබෙන ස්වල්පයක් වූ තොරතුරුද දන්ත ධාතු සාහිත්‍යයේ එන විස්තරද පාදක කර ගෙන බැලු විට රජවරු විසින් දන්ත ධාතුව මනා ලෙස සුරකින ලද බව සහ දන්ත ධාතුව රාජ්‍ය ආරක්ෂකයා වූ බවත් පැහැදිලි වේ. ඇතැම් රජවරු තම නමේ මුලට “දාඨා” (දත) යන්න එක් කිරීමට තරම් උනන්දුවක් දැක්වූහ. උදාහරණ වශයෙන් දාඨොපතිස්ස, දාඨාප්පභූති, දළ මුගලන් ආදි නම් දැක්වීය හැක. මෙයින් පෙනී යන්නේ එම රජවරු දළදා වහන්සේ සමග තිබුණු සමීප සම්බන්ධතාවයයි.
දකුණු ඉන්දියාවෙන් පැමිණි චෝල ආක්‍රමණ සහ රට අභ්‍යන්තරයේ තිබුණු භේදකාරි තත්වයන් නිසා දන්තධාතුවේ ආරක්ෂාවට විටින් විට තර්ජන එල්ල විය. එසේ වුවත් ඓතිහාසික වාර්තා වලට අනුව අනුරාධපුර රාජධානියේ 11 වැනි සියවසේදී 1 වැනි විජයබාහු රජු විසින් පොළොන්නරුවට ගෙන යන තෙක් දන්ත ධාතුවේ ආරක්ෂාව සෑම විටම අනුරාධපුර රජවරුන් මගින් සිදු විය.
පුරාණ පොළොන්නරුව නගරයේ පූජනීය චතුරස්‍රයේ (දළදා මලුව) තිබෙන අටදාගෙයි දැනට ඉතිරිව තිබෙන නටබුන් විජයබාහු රජු විසින් තනවන ලද දළදා විහාරයට සමාන වෙයි. මෙම මන්දිරය පසෙක තිබෙන වේලෙයික්කාර සෙල්ලිපියෙහි දළදාවේ ඉතිහාසය ගැන බොහෝ විස්තර සඳහන් වේ. දළදාව සහ පාත්‍ර ධාතුව අභයගිරි විහාරයේ උත්තර මූල - ආයතන ආශ්‍රමයේ සිට ගෙනවුත් අටදාගෙයි විහාරයේ තැන්පත් කරන ලද බව පෙනී යයි. වේලයික්කාර සෙල්ලිපියට අනුව මෙම මන්දිරය රජු යටතේ සේවය කළ වෙලෙයික්කාරන් කුලී හමුදාවකට පවරා තිබුනේය.
නේත්‍ර මංගල්‍යය නමැති පූජා විධි පැවැත්වීම සම්බන්ධයෙන් අටදාගේ බොහෝ ප්‍රසිද්ධ වී තිබුනි. සෙල්ලිපියේ සඳහන් විස්තර වලට අනුව පහත මාලයේ පූජා කාමරය තුළ තිබෙන බුදු පිලිමයෙහි අක්ෂි ගෝල වාර්ෂිකව සුවඳ පැනින් නහවනු ලැබේ. මෙම අටදාගෙයි ගෘහ නිර්මාණ සැලැස්මද සුවිශේෂි එකකි. මෙම දෙමහල් මන්දිරයේ සැළසුම දැනට මහනුවර ශ්‍රී දළදා මාළිගාව දක්වා පසු කාලය තුළ ඉදිවුනු දළදා මන්දිර සඳහා ආදර්ශයට ගෙන ඇති බව පෙනී යයි.
ශාසන වංශයට අනුව පළමුවැනි විජයබාහු රජතුමා සමකාලිනයෙකු වූ බුරුමයේ අනුරුද්ධ රජු සමග මිතුරු සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇත. එය කෙතරම් දැයි කිවහොත් ශ්‍රී ලංකාවේ රජුගෙන් දන්ත ධාතුව ඉල්ලා එවීමට තරම් බුරුමයේ රජුගේ මිත්‍රත්වය දැඩි එකක් වී ඇත. එහෙත් ඤාණවන්ත රජු බුරුම රජුගේ වුවමනාව සංසිඳවූයේ දළදාවෙහි අනුරුවක් එම රජු වෙත යැවීමෙනි. මෙයට බුරුම ජනතාව විසින් මහත් භක්තියෙන් ගෞරවාදර දක්වා තිබේ.
විජයබාහු රජුගේ මරණයෙන් පසුව එළඹි කාලය දේශපාලන ක්ෂේත්‍රයේ ඛේදජනක යුගයක් විය. රට වෙනස් වෙනස් පාලකයින්ගේ පාලනයට නතුවූ අතර ඔව්හු දුර්වල පාලකයෝ වූහ. මෙහි ප්‍රථිපලයක් ලෙස බොහෝ බෞද්ධ පූජනීය ස්ථාන විනාශයට පත් විය. මෙවැනි තත්වයක් තුළ දළදාවට හා පාත්‍ර ධාතුවට අනතුරක් වේ යැයි කල්පනා කළ භික්ෂූණ් වහන්සේලා එම ධාතුන් වහන්සේලා රහසින් ඉවත් කර ගෙන වඩාත් ආරක්ෂා ස්ථානයක් වූ දකුණු ප්‍රදේශයේ රෝහණ දේශයට ගෙන ගියහ. ක්‍රි.ව.1153 දී පළමු වැනි පරාක්‍රමබාහු රාජ ප්‍රාප්තියත් සමග ශ්‍රී ලංකාවේ දේශපාලන තත්වය නැවත වරක් ස්ථාවර විය. මහා පරිමාණ වාරි කර්මාන්ත නැවත ප්‍රතිසංස්කරණය කරමින් කාලය අපතේ නොහැර එම රජතුමා ආගමික පුනර්ජීවනය සඳහාද කැප වූයේය. පොළොන්නරුවේ දැනට ඉතිරිව තිබෙන ආගමික ගොඩනැගිලි ඔහු බෞද්ධාගම සම්බන්ධයෙන් කළ අමිල, අපරිමිත මෙහෙය සිහි කරන ස්මාරක වශයෙන් නටබුන් තත්වයේ පවතී.
පළමුවැනි පරාක්‍රමබාහු රජතුමා දන්ත ධාතුවෙහි සහ පාත්‍රා ධාතුවේ භාරකාරත්වය තහවුරු කරමින් එකි පූජනීය වස්තුවල ආරක්ෂාව පිණිස නගර මධ්‍යයෙහි නව මන්දිරයක් කරවූයේය. ජේතවන ආශ්‍රමයේ කවාකාර සිද්ධස්ථානයක් තුළ දන්ත ධාතුව ප්‍රදර්ශනය කරවූ පුද්ගලයා මෙම රජතුමා යයි කියනු ලැබේ. මෙම මන්දිරය පුරාණ නගරයේ උතුරු අන්තයේ තිවංක පිළිම ගෙයට ආසන්නයේ තිබෙන නටබුන් වූ මන්දිරය විය හැක.
දන්ත ධාතුන් වහන්සේට සහ පාත්‍රා ධාතුවට විශ්මයජනක මන්දිරයක් ඉදි කළ තවත් රජකෙනෙකු වූයේ නිශ්ශංකමල්ල රජුය (1187 – 1196). ඔහුගේ ශිලා ලේඛණ අනුව මෙම ධාතුන් වහන්සේලා සඳහා ඔහු හැටදාගෙයි නමින් ධාතු මන්දිරයක් තනවා තමන්ගේ දියණිය සහ පුත්‍රයා එම මන්දිරයට පූජා කොට මන්දිරය තනවා අවසානයේ එම භාරයෙන් නිදහස් කර ගත්තේය. මෙම මන්දිරය අටදාගෙයි සමීපයේ පිහිටා තිබෙන අතර අටදාගෙයිහි විශාල අනුරුවක් ලෙස පෙනෙන්නේය.
13 වැනි සියවසේද දෙවැනි කාර්තුව ආරම්භයේදී පොලෝන්නරුවේ කීර්තිය පිරිහුනේය. කාලිංග මාඝගේ ආක්‍රමණය සමග රාජධානිය තෙත් කලාපයේ ගිණිකොන දෙසට ගෙන යන ලදී. ඒ අනුව දඹදෙනි යුගය ආරම්භ විය. මෙම යුගය ශාස්ත්‍රීය හා සාහිත්‍ය කටයුතු අතින් ප්‍රබෝධමත් වූ කාලයක් විය.
මෙම කාලයේදී දන්ත ධාතුව හා පාත්‍රධාතුව නැවත වරක් ආරක්ෂාව පිණිස බෞද්ධ භික්ෂුණ් වහන්සේලා විසින් මධ්‍ය කඳුකරයේ කොත්මලයට ගෙන යන ලදී. පසුව තුන් වැනි විජයබාහු රජතුමා මෙම ධාතුන් වහන්සේලා දෙනම ආපසු ගෙන්වා ගෙන බෙලිගල කඳු මුදුනේ මනරම් මන්දිරයක් කරවා එහි තැන්පත් කරන ලදැයි වාර්තා වේ. මෙම රජතුමා ධාතුන් වහන්සේලා සම්බන්ධයෙන් පුද පූජා චාරිත්‍ර වාරිත්‍ර විධි නැවත ආරම්භ කළේය. ධාතුන් වහන්සේලාගේ භාරකාරත්වය තම පුත්‍රයා වූ පසුව දෙවැනි පරාක්‍රමබාහු ලෙසින් (1236 – 1270) රජු බවට පත් වූ තම වැඩි මහල් පුතාට පැවරුවේය. ඔහු බහුශ්‍රැත පඬිවරයෙකු විය. කව්සිළුමිණ වැනි ශාස්ත්‍රීය සාහිත්‍ය කෘති රචනා කළ පුද්ගලයෙකු වශයෙන් ප්‍රසිද්ධය.
මෙම දෙවැනි පරාක්‍රමබාහු රජතුමා ධාතුන් වහන්සේලා බෙලිගලෙන් නැවත ගෙන්වා ගෙන දඹදෙනිය පර්වතය අසල රජ මාළිගාව කිට්ටුවෙන් මන්දිරයක් සාදා එම ධාතු තැන්පත් කළේය. දළදා පූජාවලිය ග්‍රන්ථයට අනුව රජතුමා ධාතුන් වහන්සේලා ශ්‍රී වර්ධනපුර නම් ඔහුගේ උපන් නගරයට ගෙන ගියේය. එහිදී අති උත්කර්ෂවත් ලෙස පුද පූජා පවත්වන ලදී. ඔහු දඹදෙනියේ විජයසුන්දරාරාමයෙහි දළදා මන්දිරයක් තැනුවේය. එහි දළදාව තැන් පත් කර උත්සවාකාරයෙන් පුද පූජා පැවැත්වූයේය.
පරාක්‍රමබාහු රජතුමා යටතේ වූ සමෘද්ධිමත් සහ සාමකාමි යුගය ජාවා රටෙන් පැමිණි ආක්‍රමණිකයෙකුවූ චන්ද්‍රභානු නිසා අවුල් සහගත තත්වයට පත් විය. කෙසේ නමුත් රජතුමා මෙම ආක්‍රමණිකයා පලවා හැර රට නැවත ස්ථාවර තත්වයට ගෙන ඒමට සමත් විය. එක්තරා නියං සමයකදී දළදා වහන්සේ දළදා මන්දිරයෙන් ඉවතට ගෙන පෙරහැරක් පැවැත්වූ බවට වාර්තා වේ. ඔහු දන්ත ධාතුව තම සිහසුනේ වඩා හිඳුවා දින හතක් මුළුල්ලේ එයට පුද පූජා පවත්වමින් සිට තම රාජ්‍යය දළදා වහන්සේට පූජා කළේය. එයින් පසු නියඟය අවසාන විය. දළදා වහන්සේට ලැබෙන ගෞරවය රාජ්‍ය උරුමයේ සංකේතයක් බව මෙම සිදු වීමෙන් පෙනී යයි.
දෙවැනි පරාක්‍රමබාහු රජතුමා ජීවත්ව සිටියදී පවා ඔහුගේ පුත් විජයබාහු යුව රජු වශයෙන් දළදා මන්දිරය නවීකරණය කර විශාල කළේය. එමෙන්ම පුද පිළිවෙත් ක්‍රමයක් පවත්වා ගෙන ගියේය. වංශ කථා වල සඳහන් වන අන්දමට ඔහු පොළොන්නරුවේ නටබුන්ව තිබූ ආගමික ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කළේය. මෙයට දළදා මැදුරද ඇතුළත් විය. එසේ දළදා මැදුර ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු දළදාව එහි තැන්පත් කර අභිෂේක උත්සවයක් පැවැත්වූයේය.
මෙම කාලයේදී යාපහුව (පුරාණ සුභ - පබ්බත) ප්‍රසිද්ධ ස්ථානයක් බවට පත් වූයේ ඔහුගේ සහෝදරයා වූ බුවනෙකබාහු එම පළාතේ උප පාලකයා ලෙස පත් කිරීමත් සමගය. මෙම ස්ථානය සීගිරිය බලකොටුවට සමාන ස්ථානයක් වූ බැවින් දළදා වහන්සේට ආරක්ෂා සහිත තැනක් ලෙස හඳුනා ගන්නා ලදී. ජාවා රටෙන් පැමිණි චන්ද්‍රබානු මේ අතරේ දෙවැනි වතාවටත් රට ආක්‍රමණය කළේය. ඔහු යාපහුවේ යුව රජු පරාජය කරමින් දඹදෙනියේ රජු වූ විජයබාහුගෙන් දන්ත ධාතුව ඉල්ලා සිටියේය. එහෙත් ශ්‍රී ලංකාවේ රජු චන්ද්‍රබානු පරාජය කොට නැවත ශ්‍රී ලංකාවේ සාමය උදා කළේය.
බුවනෙකබාහු දන්ත ධාතුව වෙනුවෙන් යාපහුවේ මන්දිරයක් තැනුවේය. එයට පිවිසීමට තනවා ඇති ගාම්භීර වූ පියගැට පෙළෙහි නටබුන් 14 වෙනි සියවසේ ශ්‍රී ලංකාවේ කලා ශිල්ප වල විශිෂ්ඨත්වය විදහා දක්වමින් අද ද දක්නට ලැබේ. වංශකථා වල සඳහන් වන ආකාරයට ඔහු දළදාව වෙත දිනපතා ගොස් වැඳුම් පිදුම් කිරීමේ සම්ප්‍රදායයක් පවත්වා ගෙන ගොස් ඇත.
ඔහුගේ පාලන කාලය අවසන් වීමත් සමග වාගේ ශ්‍රී ලංකාව නැවතත් දරුණු නියඟයකට මුහුණ පෑවේය. ඒ අතරම ආර්යචක්‍රවර්තී නම් රණ කාමියෙකු යටතේ දකුණු ඉන්දියාවේ පාන්ඩ්‍ය දේශයෙන් එල්ල වූ ආක්‍රමණයට ද ගොදුරු විය. ඔහු රට විනාශ කොට දන්ත ධාතුව සහ පාත්‍ර ධාතුව ද සමගින් ධනයද කොල්ලකා පාත්‍ර ධාතුව හා දන්ත ධාතුව පාන්ඩ්‍ය රජු වූ කුලසේකරට භාර දුන්නේය. ඊළඟට රජ පැමිණි තුන් වැනි පරාක්‍රමබාහු රජු පාන්ඩ්‍ය දේශයේ අගනුවරට ගොස් එහි රජු සමග සුහදව සාකච්ඡා කොට ධාතුන් වහන්සේලා ආපසු ලංකාවට රැගෙන අවුත් නැවතත් පුද පූජා පැවැත්වීමේ කටයුතු ආරම්භ කළේය. සඳහන් කළ යුතු සිත් ගන්නා කාරණයක් නම් මෙතරම් කල් ගත වුණු පසුව වුවද පොළොන්නරුවේ දළදා මන්දිරය හොඳින් පැවැතීමයි. රජු ඉන්දියාවේ සිට ධාතුන් වහන්සේලා ලංකාවට වැඩම කර එම ධාතුන් වහන්සේලා පැරණි නගරය වූ පොළොන්නරුවේ පිහිටි ඉහත සඳහන් දළදා මන්දිරයේ තැන්පත් කළේය. ඒ වන විට එය අතහැර දමා තිබුනේය. මාර්කො පෝලෝ නම් සුප්‍රසිද්ධ සංචාරකයාගේ සටහන් වලට අනුව චීන අධිරාජ්‍යයෙකු වූ කුබ්ලයි ඛාන් ද දන්ත ධාතුව පාත්‍ර සහ කේශධාතු ඉල්ලා රජු වෙත දූතයෙකු එවා ඇත. කෙසේ නමුත් රජතුමා සැබැ දන්ත ධාතුව වෙනුවට ව්‍යාජ දත් දෙකක් යවා කුබ්ලයි ඛාන් සෑහීමට පත් කළේය. කුබ්ලයි ඛාන් අධිරජයා ඒවා මහත් හරසරින් පිළිගෙන පුද පූජා වන්දනා මාන කිරීමට කටයුතු යෙදුවේය.
දෙවැනි බුවනෙකබාහු (1293 – 1313) පොළොන්නරුවේ සිට දන්ත ධාතුව ඔහුගේ අගනුවර වූ කුරුණෑගලට වැඩම කරවා එහි තනන ලද මන්දිරයක තැන්පත් කළ බවත් වාර්තා වී ඇත.
ඊළඟට රජ වූයේ සිව්වැනි පරාක්‍රමබාහු රජතුමාය. එතුමාගේ කාලයේ ආගමික පුනර්ජීවනයක් ඇති විය. දළදා සිරිත නම් ග්‍රන්ථයෙහි සඳහන් වන ආකාරයට දළදාව සම්බන්ධ පූජා විධි එක්තරා ක්‍රමානුකූල පිළිවෙලකට නැවත සංවිධානය කළේය. තවත් වැදගත් කරුණක් වූයේ පුද පූජා වල පාලනය සහ ආරක්ෂාව පිළිබඳ වගකීම උත්තරමූල ආශ්‍රමයේ නායක හිමියන් වෙත පැවරීමයි. මෙම උත්තරමූල නම් ආයතනය අනුරාධපුර අභයගිරි විහාරයෙන් බිහිවුවකි.
දළදා වහන්සේට අදාළ කථා ප්‍රවෘත්ති සමග සම්බන්ධවන තවත් රජකෙනෙකු නම් සිව්වැනි බුවනෙකබාහු රජතුමා ය. ඔහු මධ්‍යම කඳුකරයේ ගම්පොල නම් නගරය අභිනව අගනුවර ලෙස තෝරා ගත්තේය. එතෙකුදු වුවත් දළදා වහන්සේ මෙම අගනුවරට ගෙනයාම පිළිබඳ කිසිදු සඳහනක් දැක ගැනීමට නැත. සමහර විට තුන් වැනි විජයබාහු රජු දන්ත ධාතුව මෙම කඳුකර අගනගරයට ගෙන ගොස් එයට ගරු කිරීම් වස් උත්සව පැවැත්වූවා වන්නට පිළිවන. ගම්පොල, නියංගම්පාය නම් ස්ථානයෙහි දළදා මන්දිරයක් තැනවීම සම්බන්ධයෙන් මෙම රජතුමා ගෞරවයට පාත්‍ර වන අතර මෙම මන්දිරය 14 වැනි සියවසේ ගඩලාදෙනිය විහාරයේ ඉදිකිරීම් ශිල්පයට නෑකම් කියන ස්ථානයකි.
මෙයින් පසුව පස්වැනි බුවනෙකබාහු (1372-1408) රජු තම අග නගරය කොළඹට ආසන්න ජයවර්ධපුරයට ගෙන ගියේය. ඔහු දළදාව තම අග නගරයට ගෙන නොගිය නමුදු දළදා වහන්සේ වෙත බොහෝ පුද පූජා පැවැත්වූ බව වාර්තාවේ. දළදා වහන්සේ ගම්පොල සිට ජයවර්ධනපුරයට රැගෙන ආවේ ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ වීරබාහු රජතුමාය. මෙම පාලන සමයේදි චීනය ලංකාවේ දේශපාලන කටයුතු කෙරෙහි මැදිහත් විය. චීන සෙනෙවියෙකු වූ චෙන් හෝ දිවයින ආක්‍රමණය කර රජු අල්ලා ගත්තේය. ඔහු රජු සහ දන්ත ධාතුව චීනයට රැගෙන ගොස් එවකට චීන අධිරාජ්‍යයයාට ඉදිරිපත් කළේය. කෙසේ වුවද විවාදයට බඳුන් වුවද වඩාත් විශ්වාසයෙන් යුතු විස්තර වලින් කියැවෙන්නේ චීන සෙන්පතියා දන්ත ධාතුව රැගෙන නොගිය බවයි. ඒ වෙනුවට ඔහු දන්ත ධාතුවට නියමිත චාරිත්‍ර පූජා විධි පවත්වා දිවයිනෙන් පිටත් වූ බවයි. මධ්‍යතන යුගයේ විශිෂ්ඨ රජෙකු ලෙස සැළකෙන හයවැනි පරාක්‍රමබාහු වැනි රජවරුන් විසින් පවත් වන ලද පෙරහැරවල්, උත්සව සහ පුද පූජා වල තොරතුරු වාර්තා වලින් ඉහත අදහස තහවුරු වෙයි. මේ රජතුමා දන්ත ධාතුව සඳහා තෙමහල් මන්දිරයක්ද දන්ත ධාතුව බහා තැබීම සඳහා රත්‍රන් කරඬු හතරක් ද තනවා දන්ත ධාතුන් වහන්සේගේ සේවය පිණිස අණ පනත් කිහිපයක්ද පැනෙව්වේය.
මෙම කාලයෙන් පසුව පළමු යටත් විජිත බලවේගය වූ පෘතුග්‍රීසීන් 1505 දී පැමිණි අතර බෞද්ධ ක්‍රියා කාරකම් වල පිරිහීමක් දක්නට ලැබුනි. වැඩි විස්තර කියන්නේ නම් රාජ්‍ය පාලනයේ ඇති වූ වියවුල් තත්වයන්, පෘතුග්‍රීසි සහ ලන්දේසින්ගේ මිෂනාරී ක්‍රියා කාරකම්, සහ වෙනත් ව්‍යසනකාරි හේතූන් නිසා දළදාවෙහි ආරක්ෂාව පිණිස බෞද්ධ භික්ෂූණ් වහන්සේලා විසින් දළදාව ආරක්ෂිත ස්ථානයට ගෙන යන ලද බව සඳහන් කළ යුතුය. මෙපරිදි දන්ත ධාතුව රැගෙන යන ලද්දේ ඊළඟ රාජධානිය වූ සීතාවකටයි. සීතාවක රාජ්‍යය පාලනය කරන ලද්දේ මායාදුන්නේ රජු විසිනි. දාඨාදාතු වංශ කෘතියට අනුව දන්ත ධාතුව රත්නපුරයට ගෙන යාමට ප්‍රථම එය මුල්ගිරිගල තරම් ඈත දකුණේ ප්‍රදේශයකට ද අනතුරුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදී විහාරයට ද ගෙන යන ලදී. අවසානයේ දන්ත ධාතුව සඟවන ලද්දේ රත්නපුරයේ දෙල්ගමුව විහාරයේය. 1592 සිට 1603 දක්වා මහනුවර රජ වූ විමලධර්මසූරිය රජතුමා විසින් ඉහත කී දෙල්ගමුව විහාරයේ සිට දැනට දන්ත ධාතුව තැන්පත් කර තිබෙන මහනුවරට දන්ත ධාතූන් වහන්සේ ගෙන එන ලදී.


දියවඩන නිළමේ තනතුර


Dr NPW 2.jpg
පුරාණයේ රජවරු විසින් මෙම තනතුර පත්කළ අතර බ්‍රිතාන්‍ය සමයේ වැඩවසම් රාජකාරි ක්‍රමය අවසන් කර ඡන්දයකින් තෝරාගනි.වර්ථමානයේ 1931 කේ 19 වන ආඥා පනත යටතේ දියවඩන නිළමේවරයා පත් කරයි .දියවඩන නිළමේ තනතුර සඳහා මූලාශ්‍ර ලැබෙනුයේ මහනුවර යුගයේ සිටය.දළඳා වහන්සේ සම්බන්ධයෙන් දාතූවංශයේ සඳහන් වන පරිදි ප්‍රථම නිළය වශයෙන් "දාතූරක්ඛකාධිකාරි"තනතුර දක්නට ලැබේ. සීතාවක දෙල්ගමුව රජමහා විහාරයේ දාතූන් වැඩසිටි සමයේ හිරිපිටිවේ දිවනිලමේ නමින් තනතුරක් සඳහන් වේ.කෝට්ටේ යුගයේ මෙම තනතුරු නාමය වෙනුවට "දිවන රාළ" ,"දියවඩන රාළ" වශයෙන් හැඳින්විය.දිවනිළමේ ,දියනිළමේ යනුද දියවඩන නිළමේ යන්නට බොහෝ තැන්වල ඇත.මහනුවර මහා වාසල සම්බන්ධව දියවඩන නිළමේ තනතුරු තුනක් විය. රජුගේ රාජකීය උල්පැන්ගේ ස්නානාදි කටයුතු භාරව හා රජතුමා ආහාර ලන්නා අවස්ථාවේදි රන් කොතලයෙන් ජලය වැඩිම භාරව සිටි දියවඩන නිළමේ ,බිසෝවරැන්ගේ හා කුමාරයන්ගේ පල්ලේවාහල ස්නානාගාරය භාරව සිටි දියවඩන නිළමේ,රජු දළඳා මාළිගයට පැමිණි විට අතපැන් වැඩීමටත් ,මුළුතැන් බුද්ධ පූජාවට පැන් පයිංඩ කිරිමට හා නානුමුර මංගල්‍යයට නානු පයිංඩ කිරිමටත් වශයෙනි. දළඳා මාළිගයේ ගිහි භාරකාරයා හා රන් කරඬුවල ප්‍රථම මහ රන් කරඬුවේ රන් යතුර භාරකාරවරයා දියවඩන නිළමේය.මුල් අවධියේ රජතුමා වුවත් 1853 න් පසු ගිහි භාරකාරයා වන්නේ දියවඩන නිළමේතුමාය.දියවඩන නිළමේතුමාගේ නිළ කාලය වසර 10 ක් යන අතර එතක් පටන් මේ දක්වා දියවඩන නිළමේවරු 19 දෙනෙක් පත්විය.


දියවඩන නිලමේ.jpg

දියවඩන නිළමේවරුවර්ෂය
කපුවත්තේ අධිකාරම් නිළමේතුමා1814-1824
දෙහිගම ලොකු බණ්ඩාර නිළමේතුමා1825-1827
කුඩා මොල්ලිගොඩ නිළමේතුමා1827-1828
කුඩා දෙහිගම නිළමේතුමා1828-1835
මුල්ලේගම අධිකාරම් නිළමේතුමා1835-1842
දුල්ලැව අධිකාරම් නිළමේතුමා1842-1848
.ලොකු බණ්ඩාර දෙහිගම නිළමේතුමා1848-1862
.කුඩා බණ්ඩා දුන්විල නිළමේතුමා1862-1882
කුඩා මුදියන්සේ ගිරාගම නිළමේතුමා1882-1897
සෙනවිරත්න රත්වත්තේ නිළමේතුමා1897-1901
කුඩා බණ්ඩාර නුගවෙල නිළමේතුමා1901-1916
පුංචි බණ්ඩා නුගවෙල නිළමේතුමා1916-1937
ටිකිරි බණ්ඩා රත්වත්තේ නිළමේතුමා1937-1947
කුඩා බණ්ඩා නුගවෙල නිළමේතුමා1947-1961
හැරිස් ලෙව්කේ රත්වත්තේ නිළමේතුමා1961-1964
හීන්බණ්ඩා උඩුරාවන නිළමේතුමා1964-1974
ආචාර්ය නිශ්ශංක පරාක්‍රම විජයරත්න නිළමේතුමා1975-1985
නෙරංජන් ප්‍රියදර්ශන දුල්ලැව නිළමේතුමා1985-2005
ප්‍රදීප් නිලංග දෑල නිළමේතුමා2005 සිට


සිව් මහා දේවාල

දළඳා මාළිගාවට තවත් ප්‍රධාන අංගයක් ලෙස දතර මහා දේවාල හැදින්විය හැක. මේවා ශ්‍රි විෂ්ණු , ශ්‍රි කතරගම, ශ්‍රි පත්තිනි,යන දේවාල හතර මහා දේවාල නමින් හැඳින්වේ. ඉන් කතරගම දේවාලය හැර ඉතිරි ඒවා දළඳා මළුව අවට ඉඳිකෝට ඇත. ශ්‍රි දළඳා මාළිගාවේ සතර මංගල්‍යයේදි මෙම සිව් මහා දේවාල වැදගත් වේ.විශේෂයෙන් 1753 වර්ෂයෙන් පසු කීර්ති ශ්‍රි රාජසිංහ රජු දවස සිට වර්තමානය දක්වා ශ්‍රි දළඳා මාළිගාව පෙරටුකොටගෙන මෙම දේවාල හතර පිළිවෙලින් පෙරහැරේ යයි.

නාථ දේවාල

දළඳා පුද බිමේ ඇති පැරණිතම ස්මාරකය වන්නේ නාථ දේවාලයයි.ද්‍රවිඩ ලක්ෂණ පෙන්නුම් කරන මෙය තුන්වන වික්‍රමබාහු රජු විසින් කරවා ඇත.ඇසල පෙරහැරේ දළඳා පෙරහැරට පසුපසින්ම ගමන් කරන පෙරහැර වේ.නාථ දේවාල කැපවි ඇත්තේමතු බුදුවන නාථ දේවියන් වෙනුවෙනි.

ශ්‍රි විෂ්ණු දේවාල
පෙරහැරේ දෙවනුවට ගමන් කරනුයේ මෙම දේවාලයේ පෙරහැරයි.විෂ්ණු දෙවියන් වෙනුවෙන් මෙම දේවාලය කරවි ඇත.රජවරු අභිෂේකයෙන් පසු නලල් පටය බඳිනු ලැබීමේ චාරිත්‍රය ඉටුකරනු ලැබුවේ මෙම දේවාලයේය.

ශ්‍රි කතරගම දේවාල

14 වන සියවසේදී පමණ ඇරම්භවු බව සැලකේ.මෙම දේවාලය කතරගම දෙවියන්ට ප්‍රසිද්ධව ඇත.

ශ්‍රි පත්තිනි දේවාල

දළඳා මාළිගාව අවට ඇති පැරණි ගොඩනැගිලි අතරින් එකකි.පති භක්තිය රැකි උතුම් කාන්තාවක් ලෙස සලකන ඇය සත්වාරයක් උපත ලද බව.ජලයෙන්,මලෙන්,නයි කඳුලෙන් ,කඳුරු පොත්තෙන් ,පිනිබිනදුවෙන්,අඹෙන්,ඉපදි බව සැලකේ.ඇසළ පෙරහැරේ අවසානයට ගමන් කරන පෙරහැරයි. අතීතයේ පටන් දළඳා කරඬුව ගෙනයාමට ඇත් රාජයෙක් විය.එම තත්වය සුවිශේෂි ඇතෙකුට හිමිවේ.මේ දක්වා කාලය තුල ඇතුන් 14ක් පමණ දළඳා කරඬුව රැගෙන යාමට සමත්ව ඇත.

දළදා මාලාගවේ සතර මංගල්‍යයන්

සෙංකඩගල දළදා මැදුරේ අතීතයේ සිට පැවතෙන මංගල්‍යයන් 4ක් ඇත.
1. අලුත් සහල් මංගල්ලය
2. අලුත් අවුරුදු මංගල්ලය
3. ඇසල මංගල්ලය
4. කාර්තික මංගල්ලය

දළඳා මාළිගාවේ ඇත් පන්තිය

SL52tooth.jpg
  1. සිංහ රාජා
  2. ඒකදන්තයා
  3. ඉන්දි රාජා
  4. සුමන
  5. විජය රාජා
  6. ජය රාජා
  7. කදිරා
  8. නාලක
  9. මියන් රාජා
  10. බුරුම රාජා
  11. මිගාර
  12. කාවේරි
  13. නවම් රාජා
  14. කණ්ඩුල

කෞතුකාගාරය

දළඳා මාළිගයේ තුන් මහල් කෞතුකාගාරයක් දක්නට ලැබේ.එහි පහත කෞතුක වස්තු තැම්පත් කර ඇත.


Kandy-llibresagrat2.jpg
  1. සමාදි පිළිමය
  2. පැරණි ධාතු කරඬුව
  3. සිරි පතුල
  4. රිදි කලය
  5. කැටයම් කරනලද ඇත්දත් දෙක
  6. මාළිගා සංකීර්ණයේ බිම් සැකස්ම
  7. කීර්ති ශ්‍රි රාජසිංහ රජුගේ ඇඳුම් කට්ටලය
  8. ලේන්සු
  9. හේමකඳ
මෙම නගරයේ ශ්‍රී ධාතු මන්දිරය,මල්වතු අස්ගිරි උභය මහා විහාරය විෂ්ණු , කතරගම, පත්තිනි.නාථ යන දේවාල හා කිරි සයුර නම් මහනුවර වැව හේතුවෙන් ලෝක උරැම නගරයක් බයට පත්ව ඇත.

දළදා තේවාව


ලක්දිව දළදා වහන්සේ වැඩම වීමෙන් පසුව කිත්සිරි මෙවන් රජතුමා පටන් වත් පිළිවෙත් රැසක් ආරම්භ විය. දළදා වහන්සේ වෙනුවෙන් පවත්වනු ලබන වසර දෙදහසකට වඩා පැරණි මෙම වත් පිළිවෙත් තුළින් බෞද්ධාගමික අනන්‍යතාවයන් හා අපූර්වතම ජාතික උරුමයක් මෙන්ම විවිධ සමාජ ස්ථරයනයන්නේ ස්වභාවය ඉස්මතු කොට දක්වයි. මෙලෙස දළදා වහන්සේ වෙනුවෙන් පවත්වනු ලබන පූජාවන් හදුන්වනු ලබන්නේ දීතේවාව” යනුවෙනි. ආහාර ගිලන්පස තෙල්මල් පහන් යනාදියෙන් දිනපතාම අලුයම් කාලයේ තේවාවද මධ්‍යහන හා සන්ධ්‍යා භාගයේ තේවාවන් ද පැවැත්වේ. අතීතයේ දෛනිකව දළදා මාලිගාව තුළ උදේ හවස පවත්වනු ලබන වතාවත් සදහා රජු විසින් ම පත් කළ වෙනමම පුද්ගල කොටස් විය. එලෙස දළදා වහන්සේ වෙනුවෙන් දෛනිකව තෙවරක් වත් පිළිවෙත් පවත්වන ලද බව විවිධ වංසකතා වල මෙන්ම විවිධ දේශාටන වාර්තාවලින් තොරතුරු රැසක් හමුවේ. දෛනිකව කෙරෙන එම තේවාව කිසියම් ව්‍යවස්ථාවකට අනුකූලව කළ යුතු බවට ඒ ඒ යුගයන්හි රජවරුන් විසින් පනවන ලද විවිධ නීති මාලාවක් ද දක්නට ලැබෙි. එම අතීත විධි විධාන අනුව යමින් වර්තමානයේ ද එම තත්වය ඒ අයුරින්ම පාරම්පරික වත්පිළිවෙත් වලට අනුකූලව සිදු කරන බව පෙනේ. අලුයම පූජාව, දවල් පූජාව ,සන්ධ්‍යා පූජාව යනුවෙන් අවස්ථා තුනකදී පැවැත්වෙන මෙම තේවාව තූළ පැහැදිළිවම පුරුෂ පාර්ශවය පමණක් යොදාගන්නා අතර වතාවත් පැවැත්වීම හා ඒ සම්බන්ධ සියලුම කටයුතු භාරවනුයේ ඉහළ යයි සම්මත කුලවල අයටය. දළදා මාලිගයේ වතාවත් සදහා පිරිමි හා භික්ෂූන් පමණක් යොදාගැනීම අතීතයේ සිදුවූවකි. 

අලුයම තේවාව

අලුයම පූජාව සදහා සංසක්කාර මුහන්දිරම්ගේ අනුග්‍රහය ඇතිව පත් කරන ලද සිව්දෙනකු විසින් එම පූජාව පවත්වනු ලැබේ. මොවුන් ඉහළ කුලයන් නියෝජනය

තේවාව සිදුකිරිමට පැමිණෙන පිරිස
කරන පුද්ගලයන් විය. විශේෂයෙන් මොවුන් නියෝජනය කළේ ගොවිගම කුලයයි. ඓතිහාසික වාර්තාවලට අනුව පෙනී යන කරුණක් වන්නේ මහනුවර දළදා මාලිගාවේ සිදුකරන අභ්‍යන්තර කටයුතු භාරව උසස් හා පහත් ලෙස කොටස් දෙකකින් බෙදී සිටි බවය.
මෙම බෙදීමට භික්ෂූන් වහන්සේලා අයත් වූ බවක් නොපෙනේ. භික්ෂුන් හැර සෙසු පුද්ගලයන් මේ යටතට ගැනෙයි. හේතුව සමාජයේ වැදගත් තැනක් එදා භික්ෂූන් වහන්සේට හිමිව තිබීමයි. භික්ෂූන් වහන්සේලාට අමතරව සෙසු පුද්ගලයන්ගෙන් බොහෝවිට දළදා වහන්සේට සමීප කටයුතු කිරීමට උසස් යැයි සම්මත කුලීනයන් යොදා ගත් බව පෙනේ. ඉහත උදෑසන පූජාවට යොදා ගන්නා වට්ටෝරුරාළ ගෙපරාල මෙන්ම මධ්‍යම පූජාව සදහා යොදාගන්නා කත්තිය රාළද ඉහළ කුලයකින් තෝරා ගනු ලබයි.

දහවල් තේවාව

දහවල් පූජාවේදී මුල්තැන් ගේ පිසින ලද ව්‍යංජන 32 (තිස් දෙකක්* සහිත දානය කත්තිය රාළ විසින් ඉහළ මාලයට ගෙනගොස් ගොවිරාලට භාර දෙයි .ඔහු විසින් එය භික්ෂූන්ට පිරිනමනු ලබයි. භික්ෂූූන් විසින් එය දළදා වහන්සේ වෙනුවෙන් පූජා කරනු ලබයි. එලෙස පූජා පවත්වන විටදී අඛන්ඩව බෙර වාදනයේ යෙදෙන පිරිසක් සිටී.

හවස තේවාව

හවස තේවාවද භික්ෂූන් ප‍්‍රමුඛ වට්ටෝරු රාළගේ ආධාර ඇතිව දොරවල් විවෘත කර හේවිසි හඬ මධ්‍යයේ සිදුකරනු ලබන්නේ ගිලන් පස පූජාවයි.
ඬේව් සිය වාර්තාවල සදහන් කරන ආකාරයට මෙම තේවා කටයුතු වලට මාලිගාවේ දිව නිළමේද සම්බන්ධ වූ බව දක්වයි. .දී...මාලිගාවේ කටයුතු සදහා සැරසෙන හේ ජලස්නානය කොට පිරිසිදු තුප්පොට්ටියක් ඇඳ යටත් පිරිසෙයින් සූවිසි පැයක් මාංශානුභවයෙන් වළකියි. මෙසේ කෙරෙන්නේ මෙවැනි කටයුතු ගැන බුදුන් ප‍්‍රසන්න වන නිසා නොව මාලිගාවට අරක්ගෙන සිටිතැයි සැලකෙන දෙවියන් ශාරීරික පවිත‍්‍රතාව ගැන සාවධානු වීම නිසා සහ ඒ පිළිබද නොසැලකිල්ල ගැන නොකැමැති නිසාය. දිව නිලමේ විසින් පැවැත්වෙන උදය පූජාව බත්, මාළු, සහ මල් යන මෙයින් සවස පූජාව මල්, ගිලන්පස, දැහැත් යන මෙයින් ද යුක්තය වියදී.
දළදා වහන්සේ වෙනුවෙන් මෙලෙස දෛනිකව සිදුකළ තේවා කටයුතු දෙස බලන විට මුල්කාලීනව එහි රාජකාරීමය බලය භික්ෂූන් වහන්සේලාට හා පිරිමි ගිහියන්ට පැවරී තිබූ බව පෙනේ. එම භික්ෂූන් වහන්සේලා තෝරාගනු ලැබුවේ අස්ගිරි හෝ මල්වතු විහාර පාර්ශවයන්ට අයත් භික්ෂූන්ගෙනි. එනිසාම සෙසු භික්ෂූන් වහන්සේලාට වඩා වැඩි ගෞරවයක් හිමිව තිබූ බව පැහැදිලිය. එපමණක් නොව දළදාව සදහා තේවාව කරන භික්ෂූන් වහන්සේ නමක් වයසින් තරමක් බාල වුවද වයසින් වැඩි මහලු නායක හිමි නමක් පවා එම තේවාව භාරව සිටි හිමි නම පැමිණි විට නැගිට ගෞරව කිරීමක් සිදු කළ යුතු බව අතීතයේ පටන්ම එන සිරිතකි. මුල් කාලීනව දළදා වහන්සේ සම්බන්ධ වතාවත් කිරීමේදී සියලු කටයුතු කිරීමේි රාජකාරිය පැවරීමේ අයිතිය රජු සතු විය. නමුත් වර්තමානය වන විට මෙය වෙනස් වී ඇති බව පෙනෙයි. එය අස්ගිරි මල්වතු භික්ෂූන් හා දියවඩන නිළමේ විසින් සිිදුකරනු දක්නට ලැබේ.

‍ක්‍රි.ව 1815 බි‍්‍රතාන්‍යයන්ට උඩරට රාජ්‍යය යටත් වීමත් සමග ඇති වූ යම් යම් ව්‍යාකූලතාවයන් හේතුකොට ගෙන දළදා වහන්සේ විවිධ තැන්වල ස්ථානගත කෙරිණි. එතැන් සිට 1828 වන තෙක් දසකයකට ආසන්න කාලයක් කිසිදු දළදා පෙරහැරක් හෝ ප‍්‍රදර්ශනය නොපැවැත්වුන අතර දළදා වහන්සේ වෙනුවෙන් නිති තේවා කටයුතු නිසිලෙස ඉටුකිරීමට අවස්ථාවක් තිබුණේද යන්න සැක සහිතය. හේතුව 1828 බ‍්‍රවුංරිග් ආණ්ඩුකාරවරයාගේ මූලිකත්වයෙන් බ‍්‍රිතාන්‍යය විසින් දළදා පෙරහැර පවත්වන තුරු දළදා වහන්සේ ඔවුන්ගේ ආරක්ෂාව යටතේ පැවතීමයි. 1818 ඇති කළ කැරැුල්ල හේතුවෙන් ඔවුන් එසේ කළ බව සඳහන් වේ. කෙසේ වෙතත් 1853 සිට දළදා වහන්සේගේ සම්පූර්ණ භාරකාරත්වය අස්ගිරි මල්වතු උභය මහා විහාරස්ථානවල මහා නායක ස්වාමීන් වහන්සේලාට හා දියවඩන නිලමේතුමන්ට භාරකොට ඇත. එතැන් පටන් දළදා වහන්සේ වෙනුවෙන් කෙරෙන තේවා කටයුතු ඔවුන් විසින් අඛන්ඩව වර්්තමානය දක්වා පවත්වාගෙන එනු ලබයි. සෑම වසරකව උපසම්පදා භික්ෂුන් වහන්සේලා වස් එලඹෙන දිනයේදී මෙම උභය විහාරික භික්ෂූන් වහන්සේලා අතර මුර මාරුවීම හෙවත් තේවා භාරකාරීත්වය වෙනස් වේ.

තේවාව පවත්වන අවස්ථා

  • අලුයම තේවාව උදෑසන 5.30 සිට පෙ.ව 7.00 දක්වා
  • දවල් තේවාව උදේ 9.15 සිට දවහල් 10.45 දක්වා
  • සවස ගිලන් පස පූජාව සවස 6.30 සිට 8.30 දක්වා
සවසට සිදුකරන ගිලන් පස පූජාවේ දක්නට ලැබෙන විශේෂත්වයකි. එනම් අඩහෝරාවක් පමණ කාලයක් තුළ ගිලන් පස පූජා දෙකක් පැවැත්වීමයි. එයට හේතු වී ඇත්තේද ඓතිහාසික සිදුුවීමකි. සම්ප‍්‍රදායකට අනුව එය කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු දවස සිදුවූවකි. රජු දිනපතා සිරිතක් වශයෙන් දළදා වන්දනාවට පැමිණීම සිද්ධ කර ඇත.2 දිනක් දළදා වන්දනාව සදහා රජු පැමිණෙන විට කාලය ඉක්ම ගොස් තිබී ඇත.රජු ගේ ප‍්‍රමාද වීම ගැන එවකට තේවාවේ භාරකාරීත්වය දැරූ නායක හිමියන්ට දක්වා පණිවිඩකාරයෙකු යවා ඇති නමුත් ඒ වන විට සියලු තේවා කටයුතු නිමකොට ඇතුල් මාලිගය පවිත‍්‍රකොට සුවද දුම් අල්ලා සුවද පැන් ඉස අවසන් කර දොරවල් වැසීම සිදු කරමින් පැවතිණි. නායක හිමියන් පවසා ඇත්තේ රජු පැමිණියද තේවාව අවසන් කොට ඇතුල් මාලිගාවේ දොර වැසූ පසු කිසිදු හේතුවක් නිසාවත් නැවත එය විවෘත නොකළ යුතු බවකි. රජතුුමා පැමිණ එම කාරණාව සම්බන්ධයෙන් නොකිපී එතැන් පටන් ඉදිරියට දෙවන ගිලන්පස පූජාවක් සිදුකිරීමට අවසර ලබා දෙන ලෙස තේවාව භාර නායක හිමියන්ගෙන් ඉල්ලා සිටි අතර එයට අවසරය ලදෙන් එදා සිට අද දක්වාද එම චාරිත‍්‍රය ඉටු කරමින් අමතර ගිලන්පස පූජාවක් පවත්වනු ලබයි.

භික්ෂුව හා තේවාව

උදෑසන 05.15 පමණ හේවිසි කරුවෝ විසින් අලුයම් දුරය නම් ශබිද පූජාවක් අරඹයි. ඉන් පසුව තේවා කටයුතු පැවරී ඇති භික්ෂූන් වහන්සේ ලා හා තමන්ට අදාළ තේවා කටයුතු වලට ගමන් කරති. වැඩසිටින මාලිගාවේ හා පල්ලේ මාලේ යතුරු භාරව සිටිනනේ තේවාව භාර නායක තෙරුන්ය. චාරිත‍්‍රානුකූලව උන්වහන්සේගෙන් ලබාගන්නා පට ලේන්සුවක ඔතා යතුරු වට්ටෝරු රාළ විසින් මහත් ගෞරවයෙන් යුතුව උරහිස තබාගෙන පෙරටුව ගමන් කරනු ලැබේ. පසුව තේවාව භාර නායක හිමියන් වඩින අතර ඒ පසුපස දෙවන හිමියන් හාපල්ලේ මාලේ හිමියන් ගමන් කරයි. ඒ සැමට ඉදිරියෙන් පන්දම් කරු ගමන් කරයි. හේවිසි මණ්ඩපය කරා ගමන් කරන ගිහි පැවිදි පිරිස පා දෝවනය කොට ගෙන වැඩසිටින මාලිගාව ලගට පැමිණ යතුරු ලිහා පල්ලේ මාලේ යතුරු කට්ටලය පල්ලේමාලේ රාළට දීම සිදුකරනු ලබයි. ඉන් අනතුරුව දොරවල් විවෘත කර වැඩසිටින කුටියට ඇතුල් වේ.
වැඩ සිටින මාලිගාවේ දොරවල් එකිනෙක ඇර ගන්ධ කුටියට ඇතුල් වී එහි ඇති ඝණ්ටාව නාද කිරීම සිදු කරනු ලබයි. අනතුරුව තේවාවේ යෙදෙන භික්ෂූන් වහන්සේලා පත්කඩ එලා දළදා වහන්සේට වන්දනා කොට තේවා කටයුතු ආරම්භ කරති. දුවිලි පිිස දැමීම, පහන් දැල්වීම ,ආසන මත තේවා උපකරණ පිළිවලකට තැබීම ආදිය ඒ අතර මුලින් සිදු කෙරෙයි. ගොවිරාළ විසින් බොලපැන සකස් කරන අතර අනතුරුව උණූ පැන් සහ සිසිල් පැන් කෙණ්ඩිවලට ලබා ගැනීමෙන් අනතුරුව සිරිත් පරිදි සිදුකරන තේවා කටයුතු ආරම්භ කෙරේ. මෙහිදී තේවා භාර හිමි වරු එකල අග‍්‍ර උපස්ථායක ආනන්ද හිමියන් බුදුරජාණන් වහන්සේ උදෙසා සිදුකළ උපස්ථාන කටයුතු දළදා වහන්සේ වෙනුවෙන් සිදු කෙරෙයි. ඒ අනුව මූඛ දෝවනයට උණුපැන් පිළිගැන්වීම, දැහැටි පිළිගැන්වීම ,සිවුරු පිරිකර පිලිගැන්වීම , පාදෝවනය කිරීම,තෙත මාත්තු කිරිම ,පවන් සැලීම ,චාමර සැලිම ,ඝණ්ටාර පූජාව කිරීම, සුවද දුුම් ඇල්ලීම ,සුවද පැන් ඉසීම, මල් දැකුම් තැබීම ආදී කටයුතු රාශියක් තේවාව ලෙස සිදුකරයි, අනතුරුව බුද්ධ පූජා කටයුතු සිදුකරනු ලබන අතර හාල් සේරු තිස් දෙකක දානය හා ව්‍යංජන තිස් දෙකක් පූජා කරයි. දහවල් සිදුවන තේවා කටයුතු වලදී හැර අනෙක් අවස්ථා දෙකේදීම සියලු පූජා කටයුතු සිදු කෙරේ. සවස ගිලන්පස වර්ග දෙකක් සමග බුද්ධ පූජාව සිදුකරයි.

තේවාව හා ස්ත්‍රිය

ස්ත‍්‍රීන් විසින් තම හිසකෙස් අතර සඟවා වරඩමවූ නමුදු (කිල්ලට අසුවිය හැකි පුද්ගලයන් ලෙස සිතූ නිසාදෝ) තේවාව සඳහා කාන්තාවන් යොදාගැනීමක් සිදු කර නොමැත. අතීතයේ පමණක් නොව වර්තමානයේද එම අදහස එලෙසම පවතින බව පෙනී යන්නේ එවැනි අවස්ථාවලදී කාන්තාවන් ආගමික කටයුතු වලට සම්බන්ධ කර ගැනීමෙන් හා සම්බන්ධවීමෙන් වැළකී සිටීම නිසාය. විශේෂයෙන් දෙවියන් උදෙසා කෙරෙන ආගමික වතාවත් වලදී එය බලපවත්වයි. මහනුවර යුගය වන විට එය දළදා වහන්සේ වත් පිළිවෙත් විෂයෙහිද බලපා තිබූ බව පෙනේ.

මුළුතැන් පුඡාව

දළදා වහන්සේ උදෙසා සිදුුකරන බුද්ධපූජා කටයුතු දළදා මාලිගාවට පමණක් ආවේණික චාරිත‍්‍රමාලාවක් ලෙස පැවැත්වේ. මෙම පූජාව දීඅමුතු මුළුතැන් පූජාව” ලෙස ද හදුන්වනු ලැබේ. මුලින් කී පරිරිදි මෙම පූජාව සදහා හාල් සේරු දෙකක දානයක් ව්‍යංජන දෙකක් අවුල්පත් සදහා කැවුම් වර්ග හතරක් ද දිනපතා පිලියෙළ කරනු ලැබේ. එකළ රජමාලිගාවේ රාජභෝජනයක් සදහා හාල් සේරු දෙකක් හා ව්‍යංජන වර්ග දෙකක් සකස් වී ඇති අතර රජවරු ආහාර ගැනීමට මුලින් දළදා වහන්සේ වෙනුවෙන් බුද්ධපූජාව පැවැත්වීමට කටයුතු යොදා ඇත.
දළදා වහන්සේ වෙනුවෙන් පැවැත්වෙන බුද්ධ පූජාව වෙනුවෙන් වර්තමානය දක්වාම පැවත එන්නේ එම චාරිත‍්‍ර බව පැහැදිලිය. නියමිත වෙලාවට තේවා කටයුතු අවසන් කිරීමෙන් පසුව හක්ගෙඩි නාද කිරීමත් සමග එකිනෙකය දොරවල් වසා තේවා කටයුතු වල නිරත වූ ගිහි පැවිදි පිරිස පහළට බසිති. අවසාන රිදී දොරටුව වැසීමෙන් පසුව ප‍්‍රධාන යතුරු කට්ටලය ඔතා ඒ මත පල්ලේමාලේ යතුරු කට්ටලයද ඔතා එකට තබා බදිනු ලැබේ. එම කි‍්‍රයාවලිය සදගල අසලදී සිදු කරනු ලබන අතර යතුරු කට්ටලය සේප්පුවට දමා වසා එම යතුර වට්ටෝරුරාළ විසින් නායක හිමියන්ට භාරදීම ඉන් අනතුරුව සිදු වේ.
අතීතයේ පටන් සාමාන්‍යයෙන් දළදා මාලිගාවේ තේවා කටයුතු සිදුවන්නේ ඉහත පරිදිය. ඒ අයුරින් දළදා වහන්සේ සදහා දෛනිකව පවත්වනු ලබන පුද සත්කාර ද ක‍්‍රමවත්ව පිළිවෙලකට අතීතයේ පටන් සිදුවන බවත් ඒ හරහා එවකට පැවති සමාජ ස්ථරායනයේ ස්වරූපය කෙබදුද යන්න පිළිබදවත් අවබෝධයක් ලැබේ. විශේෂයෙන් මහනුවර යුගයේ පැවති කුල ධූරාවලිය පිලිබද බොහෝ තොරතුරු ඒ හරහා ගම්‍ය වේ.

දළදා පෙරහැර මංගල්‍යය



ශ්‍රී ලංකාවෙහි පවත්වන්නාවූ උදාර සම්ප්‍රදායික මහෝත්සවයකි, දළදා පෙරහැර මංගල්‍යයය. මෙම මංගල්‍ය්‍ය දළදා මාලිගාව සහ අස්ගිරි / මල්වතු මහා විහාරය මගින් සංවිධානය කෙරේ.
ඇසළ පසළොස්වක පොහොය දිනයෙන් ඇරඹෙන ඇසල මංල්‍යයේ වඩාත්ම ජනප්‍රිය අංගය නිකිණි මස පවත්වන්නාවූ රන්දෝලි පෙරහැරයි. මෙම උළෙල, ශ්‍රී ලංකාවට අනන්‍ය වූ සංඛේතයක් බවට පත් වී ඇත. මෙය නර්තනයන්ගෙන් සහ අගනා ලෙස සරහූ හස්තීන්ගෙන් සමන්විත වූ බෞද්ධ උළෙලකි.මෙහි ගිනි බෝල කරුවන්ගේ නර්තන, කස කරුවන්, උඩරට නර්තන සහ අනෙකුත් විවිධ සංස්කෘතික නර්තනයන් ඇතුලත් වේ.පෙරහැරේ අලි ඇත්තු අධික ලෙස වියදම් කර නිමවූ මනරම් වස්ත්‍රයන්ගෙන් සැරසෙති. මෙම උළලෙහි නිමාව සනිටුහන් වනුයේ නිකිණි පසළොස්වක දිනයේ පවත්වන සම්ප්‍රදායික දිය කැපීමේ මංගල්‍යයයෙනි.
මහනුවර නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර දේවාලත් දළදා මාළිඟාවත් එක්ව පවත්වන මහා පෙරහැර දළදා පෙරහැර නමින් හඳුන්වයි.
දෙවියන් උදෙසා පැවැත්වු දේව පෙරහැරක් ලෙස පැවති මහනුවර ඇසළ පෙරහැර 18 වැනි සියවසේ මහනුවර රජ කල කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා දළදා පෙරහැරත් එක් කරන ලදී.



වර්තමාන දළදා පෙරහැර


දළදා පෙරහැරට අයිති සියලුම කාර්යයන් සිදු කෙරෙන්නේ මාළිඟාවේ නැකත් සෑදීම සදහා නියම කර ඇති නැකත්රාළ පිළියෙළ කර ඇති නැකත්වලට අනුවය.

කාරිය කරවන කෝරාළ

ඔහු පෙරහැර පවත්වන දිනය හා වෙලාවන් ගම් දහයේ විදානෙලාට දැනුම් දී කටයුතු සුදානමි කරයි.පෙරහැර සඳහා පළමුව සතර දේවාලයේ කප් සිටුවයි. දිය කපන දිනයේ උගුල්ලා ගඟට විසි කරන්නේ මෙම කපයි.පාන්දර හතරට පමණ කප සිටුවන අතර අලුත් නුවර සිට කප ගෙන ඒමද සිරිතකි. කප සිටවු පසු පුරා දින පහක් රාත්‍රි 7.00 පමණ ඒ ඒ දේවාල වටා කුඩා පෙරහැරක් කරයි.

කුඹල් පෙරහැර

පස් වන දවස අවසානයේ එළඹෙන්නේ කුඹල් පෙරහැරයි. මෙහිදී කාරිය කරවන රාළ මාළිඟාව තුළ තිබෙන මුරායුධපලිහසේසත්රිදීඋඩැක්කිපන්තේරැරීදී අත්පන්දමිවඩන තල අතුආදිය පිරිසිදු කොට ඒවාත් කුඹල් ‍පෙරහැර වීදි සංචාරය කරවයි. මෙම පෙරහැර දේවාල පෙරහැරට වඩා අලංකාර වේ. මෙයට ගම් දහයේ විදානෙලාබෙරවාදකයින්සහ නැට්ටුවන්ද සහභාගී වේ. මෙම පෙරහැරට ධාතු කරඩුව වඩම්මන අතර අලි ඇතුන්ද සහභාගී කරවති. පළමු දින පහ තුළ දේවාලය වටා ගමන් ගත් දේවාල පෙරහැර හතර ඊ ළග දිනයේ මාළිඟාවේ පෙරහැරට එක් වී මෙසේ වීදි සංචාරය කිරීම කුඹල් පෙරහැ‍රේ ලක්ෂණයයි.

රන්දෝලි පෙරහැර

රන්දෝලි පෙරහැර සදහා මාළිඟාවේ ප්‍රධාන දොරටුව අබියසදී කරඩුව ගෙන යන ඇතා සරසනු ලබයි. නිලමේලාද තම තමන්ට නියමිත දේවාලය හා මාළිඟය තුළ සූදානමි වෙයි.
පළමු වෙඩි හඩත් සමග සිව් මහා දේවාල පෙරහැර මාළිඟාව අසළට ගමන් කිරීම අරඹත්ම දළදා මාළිඟායේ හේවිසි මණ්ඩපයට එකතු වන පනික්කයෝ දිය වඩන නිළමේ කැද‍වා ගෙන එන්නට ඔහු සිටින කුටියට ගොස් වැද නමස්කාර කොට ඔහු කැඳවාගෙන ආ යුතු වේ. එවිට තූර්ය නාද පැවැත්වෙන අතර දළදා කරඬුව ඇතු පිට තබනු ලැබේ.
මෙයට හේවිසි මණ්ඩපයේ සිටම පාවඩ එළනු ලැබේ. හදුන්කුඩම ළගදි කත්තියන රාළගෙන් වතුර කෙණ්ඩියක් ගෙන පිරිසිදු වු බව දැනගන්නා දියවඩන නිළ‍මේ නියමිත නැකතට අනුව කරඬුව පාවඩ පිට වඩම්මවනු ලැබේ. ඒ අතර ඔහු දෙපස අත්පන්දම් හා වඩ තලඅතු අල්ලන අය තම තමන්තමන්ගේ රාජකාරී කරමින් ගමන් කරනු දැකිය හැකිය. අවසාන වෙඩි මුරයත් සමග පෙරහැර ගමන් අරඹන අතර ප්‍රධාන දොරටුව ඉදිරියේදී දියවඩන නිළමේට සමන්පිච්ච මල් මාලාවක් පළඳවයි.
පෙරහැරේ ගමන් කරන පුද්ගලයින් හා ඒ ඒ අයගේ කාර්යය සංසිද්ධි.
§  කසකරුවෝ
§  ගිනි බෝල කරුවෝ සහ බෞද්ධ කොඩි ගෙන යන්නෝ
§  කොඩි ගෙන යන්නෝ
§  පෙරමුණේ රාළ (ඇතකු පිට නැගී ලේකම් මිටිය සහිතව)
§  හේවිසි වාදකයෝ (දවුල්හොරණෑතම්මැට්ටම්තාලම්පට,හක්ගෙඩිය අත ඇතිව )
§  ගජනායක නිළමේ (ඇතකු පිට රිදී කරඩුවක් සහිතව)
§  ඇතුන් කිහිප දෙනෙක්නැට්ටුවෝ සහ බෙරකරුව
§  කාරිය කෝරාළ
§  නැට්ටු‍වෝ හා ‍බෙරවාදකයෝ
§  කවිකාර මඩුවේ ශිල්පීහු (දළදා ගුණ ගයමින් ගමන් කරති)
§  දළදා කරඩුව රැගත් ඇතා (පාවඩ මතින් යන අතර දෙපස දෑලේ ඇත්තු දෙදෙනෙක් යති.)
§  වෙස් නැටුම් කණ්ඩායමක් හා බෙරවාදකයෝ
§  දියවඩන නිළමේ

දළදා මාළිඟාවේ ‍පෙරහැරට පසුව ගමන් කරන දේවාල පෙරහැර

§  නාථ දේවාලයේ පෙරහැර
§  විෂ්ණු දේවාලයේ පෙරහැර
§  කතරගම දේවාලයේ පෙරහැර
§  පත්තිනි දේවාලයේ පෙරහැර

දළදා මාළිඟාව

ළදා මාළිඟාව කියා හදුන්වන්නේ දළදා වහන්සේ වැඩ සිටින සන්දිරයයි. දාඨා ධාතුවදළදා ගේ,දළදා මන්දිරයකියාද හදුන්වන්නේ මෙයයි.
බුදුන් වහන්සේගේ දන්ත ධාතුව මෙහි තැම්පත් කර තිබෙන නිසා දළදා මාළිඟාය බොදු ජනයා හට ඉතා වැදගත් ස්ථානයකි. ලංකාවේ දළදා වහන්සේ විවිධ සතුරු උවදුරුවලින් ආරක්ෂා කිරීම සදහා විවිධ ස්ථානවලට ගෙන ගිය බව ඉතිහාසයේ දැක්වේ. මෙලෙස දළදාව ආරක්ෂා කිරීමට ප්‍රධාන හේතුවක් වුයේ දළදාව හිමි පුද්ගලයා මෙරට රජකමට උරුමකම් කිව යුතුයි යන අදහස ලාංකික සමාජය තුළ මුල් බැස ගෙන තිබු නිසාය. දළදාව ලංකාවට වැඩම කරවන ලද්දේ ක්‍රි.ව. 301-328කිත්සිරි මේඝවර්ණ රජු රට කරවන කාලයේදීය. මෙසේ වැඩම කරවු දළදා වහන්සේ මැණික් කරඩුවක බහා ප්‍රථමයෙන් තැම්පත් කලේ දෙවැනි පෑතිස් රජු විසින් ඉදි කරන ලද ධම්මචක්ක නම් ගෘහය තුළය. එතැන් සිටන් එය "දාඨාධාතු ඝර " නම් විය. ලංකාවේ ප්‍රථම දළදා මාළිඟය ලෙස ගෞරවය ලබන්නේ මිහිඳු හිමි විසින් අනුරාධපුර නගරය මධ්‍යයයේ ඉදි කරනු ලැබූ දළදා මාළිඟාවයි. මේ අයුරින් අනුරාධපුරයේ ස්ථාන කීහීපයකම දළදා මාළිඟා ඉදි කළ බවට පුරා විද්‍යා සාක්ෂිවලින් ඔප්පු වේ.
පොළොන්නරුව රාජධානිය කර ගත් පළමු වන විජයබාහු රජු දළදාවත් රැගෙන පොළොන්නරුවට ගියේය. දළදාව රාජ්‍ය උරුමයේ ප්‍රධාන සංකේතය ලෙස සලකන්නට පටන් ගන්නා ලදී. විනාශ වී ගිය ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කළ රජු අද "අටදාගේ"නමින් හැදින්වෙන ගොඩනැගිල්ලේ දළදාව තැම්පත් කරන ලදී. ඉන් පසු මහා පරාක්‍රම බාහු රජු දළදා මාළිඟා තුනක් ඉඳි කළ බව කියවේ. ඉන් පසු කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල රජු විසින්" හැටදාගේ" නමින් දළදා මාළිඟයක් කරණු ලැබූ බවද සඳහන් වේ.

පොළොන්නරුවෙන් දඹදෙණියට

තෙවැනි විජයබාහු රජු කොත්මලේ සඟවා තිබු දළදාව දඹදෙණියට ගෙන එන ලදී. නමුත් ආරක්ෂාව සඳහා බෙලිගල දළදා මාළිඟයක් සාදා එහි තැම්පත් කළේය. දෙවැනි පරාක්‍රමබාහු රජු ක්‍රි.ව. 1236-1290 කාළයේදී යළි දඹදෙණියේ රජ මාලිඟය අසළ දළදා මාළිඟයක් සාදා එහි දළදාව තැම්පත් කරන ලද අතර වසර 11 ට පමණ මෙහි දළදාව වැඩි සිටි සේක. ඉන් අනතුරුව දළඳාව යාපහුවේ වැඩ සිටි අතර යාපහුවේ දළදා මාළිඟය පොළොන්නරු සමයෙන් පසුව ඉදි කළ විශිෂ්ටතම මාළිඟාව ලෙස සැලකේ.

දළදාව ගම්පොළ

මේ කාළයේ දළදාව ගම්පොළ කිසියම් ස්ථානයක පිහිටි දළඳා මාළිඟයේ තැම්පත් කර ඇත..

කෝට්ටේ හා මහනුවර යුගවල දළදාව.

හය වන පරාක්‍රමබාහු රජු ඉදි කළ දළදා මාළිඟාව දළදාව වඩම්මවාඅනතුරුව මහනුවර දළදාමාළිඟාවට වැඩමවූ පසු එහි දෙමහල් හා තෙමහල් දළදා මන්දිරවල වරින් වර තැම්පත් කළේය.
කාළයාගේ ඇවෑමෙන් මහනුවර දළදා වහන්සේගේ ස්ථිර වාසස්ථානය බවට මෙය පත් විය. ඉන් පසු දළදාව සිංහල බෞද්ධයන්ගේ ඉතා උසස් ආගමික පුද පූජා ඇතුළත් සංස්කෘතිකාංගයක් වූ පෙරහැරට සම්බන්ධ විය.

No comments:

Post a Comment